අරන්කැලේ

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ අරන්කැලේ ඉපැරණි සංඝාරාමය අතීතයේ භාවනානුයෝගී භික්ෂූන් සඳහා ඉදි කළ ආරණ්‍ය සේනාසන අතර ලංකාවේ ප්‍රධාන ස්ථානයකි.

මෙහි නාමය ප්‍රභවය වීම පිළිබඳ මත ද්වයකි. අරහත් යන අර්ථයෙන් අරහත් යන වචනය සම්බන්ධ වී රහතුන් වැඩ සිටි කැලේ යන අදහස ඇති අරන්කැලේ යන්න බිහි වූ බව එක් මතයකි. ආරාම කැලේ  යන වචනයෙන් බිඳී භාවිතයේදී අරම්කැලේ අරන්කැලේ වූ බව අනෙක් අදහසයි.

ස්වභාවික වන අරණක පිහිටි මෙම බෞද්ධ සංඝාරාමය තුළ පධානඝර, ජන්ථාඝර, බෝධිඝර, පොකුණු, පෙත්මං, ලෙන්, ආදී ගොඩනැගිලි සිය ගණනක් කඳු බෑවුමේ හා තැනිතලා භූමියේ ඉදි කර තිබෙනු දැකිය හැකි වෙයි.

පුදබිමෙහි වූ ගොඩනැගිලි අතුරින් ‍වයෝවෘද්ධ හා ගිලන් භික්ෂූන් වෙනුවෙන් ඉදි කළ උණු පැන් හල හෙවත් ජන්නාඝරය සුවිශේෂි වෙයි. මෙය උණු පැන් ස්නානය වාෂ්ප ප්‍රතිකාර හා බෙහෙත් ගැල්වූ ජලය ස්නානය ආදී කටයුතු සඳහා යොදා ගෙන තිබේ. ගොඩනැගිල්ල තුල ජලය උණු කිරීමට යොදා ගත් ලිප් මෙන්ම බෙහෙත් ඇඹරුම් ගල්ද දක්නට ලැබේ.

මෙහි ඇති චංකමහාගාරය වහලක් සහිතව ඉදි කර තිබූ සක්මන් මළුවකි. මෙම ගොඩනැගිල්ලට සබඳව වැසිකිළියද කැසිකිළිය හා දෝණිය යන අංගත්‍රය පිහිටුවා තිබේ.

දිය පිරි පොකුණු, දිගු පෙත්මං, සංඝාවාස, ගොඩනැගිලි, බෝධිඝර මෙන්ම භාවනායෝගි භික්ෂූන් භාවිතා කළ පධානඝර ගොඩනැගිලිද භූමියේ තැනිත් තැන මනා ස්ථාන ගත කිරීමෙන් යුතුව දක්නට ලැබේ.