මුල් පිටුව

කැණීම් අංශය

මෙම අංශය ශ්‍රී ලංකාවේ සමස්ත පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා 1968 වර්ෂයේ දී පිහිටුවන ලදී.

කැණීම් අංශයේ කාර්ය භාර්ය සංක්‍ෂිප්තව පහත දැක්වෙන ආකාරයට වර්ගකර දැක්විය හැකිය.

පර්යේෂණ කැණීම්

පශ්චාත් කැණීම් විෂ්ලේෂණ

  • කැණීම් ද්‍රව්‍ය විශ්ලේෂණය
  • වාර්තා ලිවීම.
  • ලේඛනාරක්‍ෂක වාර්තා සම්පාදනය.
  • ගබඩා කිරීම.
  • කැණීම් වාර්තාව අවසන් වූ පසු සියලු ම කැණීම් ද්‍රව්‍ය ගබඩා කිරීම, පර්යේෂණය සහ ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් කෞතුකාගාර අංශයට භාර දීම.

ශ්‍රී ලංකාවේ කැණීම් ඉතිහාසය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු වරට විධිමත් කැණීමක් එස්.එම්. බරෝස් මහතා විසින් වර්ෂ 1884 සිට 1886 දක්වා වූ කාලයේ දී අනුරාධපුරය සහ පොළොන්නරුව යන ස්ථානවල සිදු කරන ලදී. අනතුරුව එච්.සී.පී. බෙල් මහතාගේ මූලිකත්වයෙන් වර්ෂ 1890 දී ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ සහ කැණීම් කටයුතු ප්‍රධාන වශයෙන් අනුරාධපුරය, සීගිරිය ආශ්‍රිතව සිදු කරන ලදී. එමෙන් ම අනුරාධපුරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැණීම් ඊ.එම් අයර්ටන් (1912 -1914) සහ රාජා ද සිල්වා (1983) යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් සිදු කරන ලදී.

වර්ෂ 1926 දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට පත් වූ ඒ.එම්. හොකාර්ට් මහතා විසින් මාතොට, පොම්පරිප්පු, අනුරාධපුර ඇතුල්නුවර, සහ අම්බලන්තොට යන ස්ථානවල පස් ස්තරායානුකූලව කැණීම් කටයුතු සිදු කරන ලදී.

ඉහළට

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කැණීම්

කැණීම් අංශය මඟින් මෙතෙක් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ප්‍රාග් ඓතිහාසික උරුමය අදින් වසර 125,000 පෙර විහිදී යන බව විද්‍යාත්මව තහවුරු කර ගෙන ඇත. මෙහි දී රතු පස් වැලි නිධි විහිදී ගිය ලංකාවේ උතුරු, දකුණ සහ වයඹ දිග මුහුදු තීරය වඩා වැදගත් වේ. වර්ෂ 1972 වසරේ දී සිදු කරන ලද බූන්දල සහ පතිරාජවෙල සිදු කරන කැණීම්වලින් ප්‍රාග්ඓතිහාසික මානව ජනාවාසවල ප්‍රධාන අවධි දෙකක් සොයා ගෙන ඇත.

  1. මධ්‍ය පුරාතන ශිලා යුගයට අයත් එනම්, අදින් වසර 125,000 පමණ පෙර ජීවත් වූ මානවායා භාවිත කරන ලද ශිලා මෙවලම් හමුවී ඇත. නමුත් මෙහි දී මානව අවශේෂ හමුවී නොමැත.
  2. අදින් වසර 28,000 පමණ පෙර කාලයකට අයත් මානව ජනාවාස අවධිය. මෙය මධ්‍ය ශිලා යුගයට අයත් ය. මානව හෝ සත්ත්ව අවශේෂ නැතත් ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් ඉතා විශාල ප්‍රමාණයක් හමුවී ඇත.

එමෙන් ම ප්‍රාග් ඓතිහාසික ලෙන්වලින් නවීන මානවයා පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා පිළිබඳ නිසැක සාධක ලැබෙන්නේ ලෙන් ජනාවාසවලිනි. අදින් වසර 40,000 පෙර ජීවත් වූ නවීන මානවයාගේ යැපීම් ක්‍රම, අභිචාර විධි, සහ තාක්‍ෂණය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලැබී ඇත.

මෙම පර්යේෂණ කටයුතු මුල් වරට සිදු කරන ලද්දේ 1979 දශකයේ දී ය. එහිදී ගල් ලෙන් තුනක් කැණීමට භාජනය කරන ලදී.

  • කුරුවිට බටදොඹ ලෙන
  • හොරණ පාහියන් ලෙන
  • කෑගල්ලේ අළු ලෙන

මෙම කැණීම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල වශයෙන් ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ 'The Prehistory of Sri Lanka' සහ ආචාර්ය ඩබ්. එච්. විජයපාල මහතාගේ 'New light on the prehistory of Sri Lanka' යන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කර ඇත. මෑතදී මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා 2005 වසරේ දී බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, බෙල්ලන්බැඳිපැළැස්ස යන ස්ථානවල කැණීම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳව, විශේෂයෙන් ම පහතරට තෙත් කලාපයේ ගල් ලෙන් ආශ්‍රිත ව ප්ලයොස්ටසීන යුගයේ සිට මධ්‍ය හොලොසීන යුගය දක්වා ජීවත් වූ නවීන මානවයා පිළිබඳව පර්යේෂණ තොරතුරු ඇතුළත්කර වර්ෂ 2010 දී ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් එංගලන්තයේ 'Bar International Series' 2142 යටතේ 'Prehistory of Sri Lanka' ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ ලෙන් ජනාවාස අදින් වසර 40,000 පමණ ඈතට විහිදී යන බව අනාවරණය කරගෙන ඇත. මේ කාලයේ දී ඝර්ම කලාපීය වැසි වනාන්තර තිබූ බවට සාධක හමුවී ඇත. එමෙන් ම දකුණු ආසියාවේ ජීවත් වූ ආදිතම මානවයා පිළිබඳ සාධක ද බටදොඹ ලෙන සහ පාහියන්ගල ආශ්‍රිතව ලැබේ. මෙම ප්‍රාග් මානවයාගේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණය, අභිචාර විධි, ආහාර රටාව ආදිය පිළිබඳව ඉතාමත් වැදගත් වූ තොරතුරු අනාවරණය වී ඇත.

නවීන මානවයා පිළිබඳව සාකච්ජා කරනවිට අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යාය පුරාවිද්‍යාඥයින් ඉතා වැදගත්කොට සලකනු ලබයි. මෙහි දී අවුරුදු ලක්‍ෂයකට පමණ පෙර නවීන මානවයා අප්‍රිකාවේ නැගෙනහිරින් බිහිවී දැනට අවුරුදු 80,000 පමණ පෙර සීනාහි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත්, තවත් කොටසක් ආසියාව හරහා ඕස්ට්‍රේලියාවටත් විහීදී ගිය බව තහවුරු කරගෙන ඇත. මෙහි දී වඩා වැදගත් වන්නේ දකුණු පිවිසුම් මාර්ගය බව විද්‍යාඥයන්ගේ අදහසයි. එහි දී සීනාහි සිට අරාබි වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත. මේ අනුව නවීන මානවයාගේ ආදිතම සාධක දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත.

මෙතෙක් සොයා ගෙන ඇති පර්යේෂණ අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු සන්දර්භ කිහිපයකින් ලැබේ.

  1. ඉරණමඩු පස් සැකැස්ම - මේවා උතුරු, දකුණු සහ වයඹ දිග වෙරලේ ව්‍යාප්තව ඇත.
  2. ගල් ලෙන් - දිවයින පුරා ව්‍යාප්තව පවතින අතර පහතරට තෙත් කලාපයේ නිරිතදිග කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල වැඩිපුර විහිදී යෑමක් දැකිය හැකි ය.
  3. එළිමහන් ප්‍රාග් ඓතිහාසික ස්ථාන - බෙල්ලන්බැඳිපැළැස්ස. මෙම ස්ථානය 2005 වසරේ අභිනවයෙන් සිදු කරන ලද කැණීමෙන් අදින් වසර 13,000 පමණ පැරණි බව සොයා ගෙන ඇත.
  4. රතුවන් දුඹුරු පස් කලාපය - වියළි කලාපයට ආවේණික පස් කලාපය. ප්‍රාග් ඓතිහාසික ස්ථාන ලක්‍ෂ ගණනක් ව්‍යාප්තව ඇත. අනුරාධපුර ඇතුල් නුවර අදින් වසර 5,000 පමණ පැරණි බව මෙහි දී විද්‍යාත්මකව කාල නිර්ණයකර ඇත.
  5. ප්‍රාග් ඓතිහාසික බෙලි කටු නිධි - හුංගම මිණිඇතිළිය ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් වලින් මෙම ප්‍රාග් ඓතිහාසික ස්ථානය අදින් වසර 2,800 පමණ පැරණි බව විද්‍යාත්මක තහවුරු කරගෙන ඇත.
  6. මාතොට - ශ්‍රී ලංකාවේ ගල් යුගයේ අවසාන අවධිය නියෝජනය කරයි. මෙම ස්ථානය අදින් වසර 1,800 පැරණි බව විද්‍යාත්මකව කාලනිර්ණයකර ඇත.

ශ්‍රී ලංකාවේ ගල් ලෙන්වල තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා 2007 වසරේ දී හොරණ පාහියන්ගල කැණීම් ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙහි මූලික අරමුණ වූයේ 1986 වසරේ දී ආචාර්ය විජයපාල මහතා විසින් සිදු කරන ලද කැණීම නවීන තාක්‍ෂණය යොදා ගනිමින් යාවත්කාලීන කිරීමයි. මෙහි දී මුල් වරට සොයා ගන්නා ලද පස් ස්ථර 4 ඉතාමත් සියුම් විශ්ලේෂණයන්ට අනුව ස්ථර සියයකට වැඩි ප්‍රමාණයක් වශයෙන් විහිදී යන බව හඳුනා ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය ස්කොට්ලන්තයේ ස්ටාලින් විශ්වවිද්‍යාලයේ පුරා භූ භෞතික අංශයේ මහාචාර්ය ඉයන් සිම්සන් මහතාගේ පර්යේෂණ දායකත්වයෙන් සිදු කරගෙන යනු ලැබේ. මෙහි දී පහත සඳහන් අධ්‍යයනයන් සිදු කරන ලදි,

  • සියුම් පාංශු අධ්‍යයනය
  • තුනී පස් තට්ටු විශ්ලේෂණය
  • පරාග විශ්ලේෂණය
  • ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යයනය
  • ශිලා මෙවලම් නිෂ්පාදන තාක්‍ෂණය
  • සත්ත්ව අවශේෂ විශ්ලේෂණය

ඉහළට

පූර්ව ඓතිහාසික පර්යේෂණ කැණීම්

ප්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික කාලය අතර කාලය මෙය වේ. මේ යුගය දියුණු සංස්කෘතික ලක්‍ෂණ පිළිඹිඹු කරයි. මෙකල දී ලංකාවේ අක්‍ෂර භාවිතය පිළිබඳව සාධක නැතත් දියුණු මැටි බඳුන් තාක්‍ෂණය, සතුන් හීලෑ කිරීම, යකඩ භාවිතය සහ ධාන්‍ය වගාව පිළිබඳව සාධක හමුවේ. දැනට සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව මෙම යුගය ක්‍රි.පූ. 1,300 දී ආරම්භ වී ක්‍රි.පූ. 250 පමණ ව්‍යාප්ත වූ බව පැහැදිලි ය. මෙය පූර්ව ඓතිහාසික යකඩ යුගය ලෙස හඳුන්වන අතර විශේෂ ලක්‍ෂණය නම් සුසාන සංස්කෘතිය ව්‍යාප්ත වීමයි. මෙම ප්‍රබල සංස්කෘතික ලක්‍ෂණය පොම්පරිප්පු, යාපහුව, කොක්ඇබේ, යටිගල්පොත්ත (ක්‍රි.පූ. 750) ඉබ්බන්කට්ටුව (ක්‍රි.පූ. 700) කලෝටුවාව (ක්‍රි.පූ. 250) රංචාමඩම (ක්‍රි.පූ. 1,300) යන කැණීම් පරිශ්‍රවලින් අනාවරණය කරගෙන ඇත. මෙම සුසාන සංස්කෘතිය මූල ඓතිහාසික යුගයේ අග භාගය දක්වා ම විහිදී ගිය බවට තහවුරු කරගෙන ඇත.

ඉහළට

මූල ඓතිහාසික යුගය

මේ යුගයේ ඉතාමත් වැදගත් ස්ථාන ලෙස,

  • අනුරාධපුර ඇතුල්පුර
  • තිස්සමහාරාම
  • කණ්තරෝඩය

පෙන්වාදිය හැකි ය.

අනුරාධපුර ඇතුල්පුරය

ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 11 දක්වා වූ ඓතිහාසික කාල පරිච්ඡේදය නියෝජනය කරයි. අනුරාධපුරය යුනෙස්කෝ සභාව විසින් ලෝක උරුම නගරයක් ලෙසට ද නම්කර ඇත. මුලින් ම මෙහි කැණීම් කටයුතු වර්ෂ 1969 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මේ පිළිබඳව විස්තරාත්මක වාර්තාව 'Ancient Ceylon Vol II' හි ප්‍රකාශයට පත් කර ඇත. මෙහි දී,

  • සංස්කෘතික අවධි පිළිබඳව
  • මැටි බඳුන් හා යකඩ තාක්‍ෂණය පිළිබඳව
  • යැපීම් ක්‍රම පිළිබඳව
  • නගර නිර්මාණය පිළිබඳව විද්‍යාත්මක වශයෙන් තහවුරු කර ගෙන ඇත.

මෙම කැණීම සිදු කරන ලද්දේ රුහුණේ ඓතිහාසික තත්වය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ය. මෙය ක්‍රි.පූ. 1000 පමණ කාලණිර්නය කර ඇත. මෙහි දී සිදු කරන ලද පර්යේෂණ ආශ්‍රිතව 'Ancient Ruhunu' ග්‍රන්ථයේ වෙළුම් අංක I සහ II මේ වන විට ප්‍රකාශයට පත්වී ඇති අතර III වෙළුම 2011 අග භාගයේ දී ද, IV වෙළුම 2012 වසරේ දී ද ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

කණ්තරෝඩය

කන්තරෝඩය ද ඉතා වැදගත් ස්ථානයකි. මෙය 1940 දී පී.ඊ.පී දැරණියගල මහතා විසින් මුල් වරට කැණීම් කරන ලදී. අනතුරුව මෙහි 1972 වසරේ දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යායේ විමලා බෙග්ලි සහ බෙනට් බ්‍රොන්සන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සිදු කරන ලද සහයෝගිතා කැණීම් පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස පර්යේෂණ කටයුතු සිදු කරන ලදී.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ අනුරාධපුර ඇතුල්පුරයට සමකාලීනව කණ්තරෝඩයේ පස් තැන්පතු පිළිබඳව අදහසක් ලබා ගැනීම ය. එවකට තිබූ කැණීම් තාක්‍ෂණික ක්‍රම අනුව මේ පිළිබඳව අර්ධ වශයෙන් අදහසක් ලබා ගැනීමට හැකි වූ අතර එහි දී මෙම ස්ථානය ක්‍රි.පූ. 5 වන සියවසේ දී ආරම්භ වූ බව සොයා ගන්නා ලදී. මෙම අඩු ලූහුඬුකම් මඟ හරවා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 2011 වසරේ දී විද්‍යාත්මක කැණීමක් සැළසුම් කර ඇත. මෙහි දී මූල ඓතිහාසික ජනාවාසයේ මුල්ම ජනාවාස අවධි හා ඊට පසු ජනාවාස තැන්පතුවල අනුපිළිවෙල සොයා ගෙන ඒවා විද්‍යානුකූලව කාලනිර්ණය කිරීම ප්‍රධාන අරමුණයි.

ඉහළට

ස්මාරක කැණීම්

රටේ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවය අනුව ස්තූපයක් වැනි ආගමික ස්ථානයක් සංරක්‍ෂණය කිරීමට පෙරාතුව එම ස්ථානයේ මුල්ම ගොඩනැගිලි අවධි හා පසු කාලීනව සිදුකළ ප්‍රතිසංස්කරණ අවධීන් පිළිබඳව අදහසක් ලබා ගැනීමේ අරමුණ ඇතිව විධිමත් පර්යේෂණ කැණීම් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියකි. අප විසින් පසුගිය කාලයේ ප්‍රධාන ස්ථාන දෙකක් කැණීම් සිදු කරන ලදී.

01. තිස්සමහාරාම සඳගිරිය ස්ථූප කැණීම
මේ ස්ථූපය අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් හදිසියේ දෙදරායාමකට පත් විය. මෙය රටේ අවශ්‍යතාවයක් වූ බැවින් ප්‍රතිසංස්කරණයට පෙර දාගැබේ මුල්ම ගොඩනැගිලි අවධිය හා ඊට පසුව ඇති වූ ප්‍රතිසංස්කරණ අවධීන් ගැන සොයා ගැනීම සඳහා පර්යේෂණ කැණීම සිදු කරන ලදී. මේ තුළින් ලංකාවේ ඉතා වැදගත් සංස්කෘතික ඉතිහාසය ගැන කරුණු සොයා ගැනීමට හැකිවිය. එහි දී මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් බව තහවුරු කර ගන්නා ලද්දේ මෙකල ජීවත් වූ මානවයා ආහාරයට ගන්නා ලද සත්ත්ව අවශේෂ සහ ශිලාමය ආයුධ හමුවීම තුළිනි. මෙහිදී කාලනිර්ණය කිරීම සඳහා සාම්පල නොමැතිවීම හේතුවෙන් විද්‍යාත්මක දින නිර්ණයන් ලබා ගැනීමට නොහැකි විය. අනතුරුව ජනාවාස හිඩැසක් ද ඉන් අනතුරුව ක්‍රි.පූ. 900 කාලයට අයත් කාලරක්ත වර්ණ මැටි බඳුන් සහ යකඩ තාක්‍ෂණය පිළිබඳව අදහසක් ද ලබා ගෙන ඇත. එමෙන් ම වංශ කථාවල සඳහන් පරිදි මහානාග රජු විසින් මෙම දාගැබ ඉදිකළ බවට පුරාවිද්‍යාත්මක සාධක මතුකර ගෙන ඇත. දැනට සිදු කර ඇති පර්යේෂණයනට අනුව මෙම ස්ථානය ක‍්‍රි.පූ. 2 සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.
02. දැලිවල කොට වෙහෙර
මෙම කැණීමේ දී ද දාගැබේ මුල්ම අවධිය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කර ගෙන ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් කැණීමේ දී ඉතාමත්ම සුරක්‍ෂිතව පැවති ගර්භ ගෘහයයි. මෙහි දී පුරාවස්තු රැසක සාධක මතුවූ අතර රෙදි, වීදුරු, පබළු හා මුතු පබළු අල්ලන ලද රෙද්දකින් වට කරන ලද කුඩා චෛත්‍ය ඉතාමත් වැදගත් වේ. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ රෙදි පිළිබඳව විශේෂඥ ජුඩිත් කැමරන් මහත්මිය විසින් මේ පිළිබඳව රසායනික පර්යේෂණ කරගෙන යන අතර මෙම රෙදි සේද රෙදි බව සොයා ගෙන ඇත.

2011 වර්ෂයේ දී කැණීම් අංශය විසින් සිදු කිරීමට බලාපොරාත්තුවන කැණීම් ව්‍යාපෘති

  • ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කැණීම් - හොරණ පාහියන් ලෙන.
  • ප්‍රාග් ඓතිහාසික එළිමහන් ස්ථාන - බෙල්ලන්බැඳිපැලැස්ස.
  • ඓතිහාසික කැණීම් - අනුරාධපුර ඇතුල්නුවර.
  • මූල ඓතිහාසික කැණීම් - මහගල්වැව මෙගලිතික සුසාන කැණීම.
  • පශ්චාත් කැණීම් විශ්ලේෂණ කටයුතු සහ වාර්තා ලිවීම.

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 06:41