මුල් පිටුව

ගවේෂණ අංශය

අරමුණු

  • ගවේෂණ මගින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය හඳුනා ගැනීම.
  • ශ්‍රී ලංකාවේ චංචල හා නිශ්චල පුරාවිද්‍යාත්මක දේපල ලේඛනගත කිරීම.
  • පුරාවිද්‍යා ආඥාපනත ක්‍රියාත්මක කිරීම.
  • සංස්කෘතික දේපල පනත ක්‍රියාත්මක කිරීම.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම.

ගවේෂණ අංශයේ ප්‍රධාන කාර්යයෝ

  • විශේෂ සහ කඩිනම් ගවේෂණ සිදු කිරීම.
  • පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්ථාන ප්‍රකාශයට පත් කිරීම.
  • කෞතුක වස්තු විනාශයෙන් වළක්වා ගැනීම.
  • පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණ පැවැත්වීම.
  • පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක පිළිබඳ භූගෝලික තොරතුරු එක්රැස් කිරීම සහ ඒ පිළිබඳ සිතියම් සම්පාදනය කිරීම.
  • සමුද්‍රීය ගවේෂණ පැවැත්වීම.
  • පුරාණ වාරිමාර්ගික උරුමය පිළිබඳ ගවේෂණ කටයුතු සැලසුම් කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම.
  • වැඩ කටයුතු සැලසුම් කිරීම.
  • විවිධ දිස්ත්‍රික්කවල පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක පිළිබඳ ගැටලුවලට විසඳුම් සැපයීම සහ ගල්වලවල් පිළිබඳ ලිපිගොනු පවත්වා ගැනීම.

විශේෂ සහ කඩිනම් ගවේෂණ පැවැත්වීම

පුරාවිද්‍යාත්මක කටයුතු හා සම්බන්ධ සංරක්ෂණය, ප්‍රදර්ශනය පර්යේෂණය සහ කැණීම් කාර්යය යන කටයුතු සිදු කිරීම සඳහා පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශේෂ ස්ථාන හඳුනා ගැනීම සාතිශය වැදගත් කාර්යයකි. පෞරාණික ස්ථාන සහ ස්මාරක සවිස්තරව ලේඛනගත කොට වාර්තා සකස් කරනු ලැබේ. මෙයට අමතර වශයෙන් අවශ්‍යතා අනුව කඩිනම් වාර්තා සම්පාදනය කළ යුතු ස්ථාන පිළිබඳ වාර්තා සැකසීම ද සිදු කරනු ලැබේ.

වැඩි විස්තර බලා ගැනීම සඳහා මෙම මාතෘකාව මත ක්ලික් කරන්න.

1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන ප්‍රකාර අවශ්‍ය පියවර ගනු ලැබේ. 33, 34 සහ 35 වගන්තිවල මේ පිළිබඳ විස්තර දැක්වේ. පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්ථාන පිළිබඳ විස්තර පුරාවස්තු ආඥාපනතේ 33 වගන්තියේ වෙසෙසා දැක්වේ.

ඉඩම් කොමසාරිවරයාගේ අනුමැතිය ඇතිව හෝ ඉඩම් කොමසාරිස්වරයා අනුමැතිය ප්‍රතික්ෂේප කළහොත් ඉඩම් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන අදාළ ඉඩමේ ඕනෑම නිශ්චිත ප්‍රදේශයක් මෙම ආඥාපනතේ කාර්යය සඳහා පුරාවිද්‍යාත්මක රක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ගැසට් පත්‍රයේ පළ කෙරෙන නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ හැකි ය. මෙම ආඥාපනත ක්‍රියාත්මක වූ දිනට පෙරාතුව ගැසට්පත්‍රයේ නිවේදනයක් මගින් හෝ වෙනත් ආකාරයකින් රජයේ ඉඩමක ඕනෑම ප්‍රදේශයක් පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා වෙන් කර තිබේ නම් එය පුරාවිද්‍යාත්මක රක්ෂිතයක් වශයෙන් සැලකිය යුතු ය.

පුරාවස්තු ආඥාපනතේ 33 වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද ඉඩමක පුරාවිද්‍යා කොමසාරිස්වරයා හෝ ඔහුගේ විධාන යටතේ හා ඊට අනුකූලව ක්‍රියා කරන තැනැත්තෙකු හැර වෙන්කළ පුරාවිද්‍යා ප්‍රදේශයක යම් කොටසක් වගා කිරීම සඳහා එළි පෙහෙළි කරන්නා වූ හෝ එබිම් කොටස වගා කරන්නා වූ යම් ගොඩනැගිල්ලක් හෝ නිර්මාණයක් ඉදි කරන්නා වූ හෝ යම් ගසක් කපා ඉවත් කරන්නා වූ හෝ වෙන් කළ ප්‍රදේශයක අන් ලෙසකින් අයුතු ලෙස කොටු කරගන්නා වූ සෑම තැනැත්තෙකු ම වරදකරු බවට නඩු විභාගයකින් පසුව පමුණුවනු ලැබිය හැකි ය. එසේ කළ හැකිව ඇත්තේ ඉඩම් නිරවුල් කිරීම කළ හෝ රජය විසින් අත්පත් කරගත් ඉඩම් සම්බන්ධයෙන් පමණි.

34 වන වගන්තිය යටතේ කිසියම් පුද්ගලයකු වරදකරු කරනු ලැබිමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර නැති විට හෝ අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ, අදාළ වන පරිදි අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන තීන්දුව කිරීමේ ආඥාව නිකුත් කිරීමෙන් පසු, පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත එකී වරදකරු බවට පත් කරනු ලැබූ පුද්ගලයා පුරාවිද්‍යා රක්ෂිතයෙන් නෙරපා හැර එහි සන්තකය පුරවිද්‍යා කොමසාරිස්වරයාට හෝ ඔහුගේ නියෝජිතයාට භාරදෙන ලෙස නියෝග කිරීමට මහේස්ත්‍රාත්වරයාට පුළුවන. එම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසු එසේ ක්‍රියාත්මක කළ ආකාරය පිස්කල් විසින් හෝ සාම නිලධාරියා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත විධි වූ පරිදි දැනුම් දිය යුතු ය.

පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළු වීමට ද වරදකරු කරනු ලැබූ පුද්ගලයා එයින් නෙරපීමට ද එම පුරාවිද්‍යා රක්ෂිතයේ සන්තකය පුරාවිද්‍යා කොමසාරිස්වරයාට හෝ ‍ඔහුගේ නියෝජිතයාට භාරදීමට අවශ්‍ය වන ආකාරයේ බලය පාවිච්චි කිරීමට පිස්කල්ට හෝ සාම නිලධාරියාට හෝ ඒ දෙදෙනාගෙන් කවරකු විසින් හෝ බලය දෙනු ලැබූ ඕනෑම නිලධාරියකුට පුළුවන. පුරාවිද්‍යාත්මක භූමියක් රජයට අත්කර ගැනීමේ අදාළ පරිපාටිය 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතේ 33,34 සහ 35 යන වගන්තිවල වෙසෙසා දැක්වේ.

යම්කිසි ඉඩමක පුරාවස්තු තිබෙන බව හඳුනා ගත් විට එකී ඉඩම රජයේ හෝ පෞද්ගලික අයිතිය සහිත ඉඩමක් වුව ද එහි අනවසර වගාකිරීම්, පදිංචිවීම් සහ ඉදිකිරීම් වැළැක්වීමටත්, එහි තිරසර පැවැත්ම තහවුරු කිරීමටත්, එම ඉඩම පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකි ය.

  1. භූමිය හඳුනා ගැනීම.
    • ප්‍රාදේශීය කාර්යාලයෙන් නිරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම.
    • අදාළ පිඹුරුපත් සහ මැනුම් සැලසුම් ඉල්ලා යැවීම.
  2. ඉඩම රජයේ හෝ පෞද්ගලික ඉඩමක් ද යන වග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන ගැනීම.
    • පෞද්ගලික ඉඩමක් වන විට එහි අයිතිකරුගේ අයිතිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
    • රජයේ ඉඩමක් වන විට අදාළ ඉඩමේ විස්තර ලබා ගැනීම.
    • එකී ආයතනයෙන් පිඹුරුපත් සහ මැනුම් සැලසුම් ඉල්ලා යැවීම.
    • පෞද්ගලික ඉඩමක් අත්කර ගැනීමට අයිතිකරුගේ කැමැත්ත ලබා ගත යුතු ය.
    • ඔහුට/ ඇයට වන්දි ගෙවිය යුතු ය.
    • එකී කාර්යය සඳහා තක්සේරු වාර්තාවක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත යුතු ය.
    • ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මැනුම් නියෝගයක් නිකුත් කිරිම අවශ්‍ය ය.
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තක්සේරු වාර්තාව ලබා ගැනීමෙන් පසු අදාළ ආයතනයේ ප්‍රධානියා මගින් අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමතිය ලබා ගත යුතු ය.
    • මේ සඳහා අදාළ ආකෘති පත්‍ර පිරවිය යුතු ය.
    • ඉඩම රුපියල් මිලියනයකට හෝ ඊට අඩු මුදලකට තක්සේරු කර ඇත්නම් අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ද ඊට වැඩි තක්සේරුවක දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබාගත යුතු ය.
    • අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වන්දි ගෙවීමෙන් පසු ඉඩම පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවේදන කෙටුම්පත භාෂා තුනෙන් ම පිළියෙළ කළ යුතු ය.
    • එම කෙටුම්පත ඉන්පසු නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඉන්පසු රජයේ මුද්‍රණාලයාධිපති ලවා මුද්‍රණය කරවා ගත යුතු ය.
    • ඊට විරුද්ධත්වයක් ඉදිරිපත් වී තිබේ නම් එය ද ඇතුළත් කළ යුතු ය.
    • රජයේ ‍ඉඩමක් වන අවස්ථාවක දී එම ඉඩම අයිති ආයතනයේ එකඟත්වය ලබා ගැනීමෙන් පසු ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතු ය.
    • ඉන්පසු ඉහත සඳහන් ආකාරයට පුරාවිද්‍යා රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු ය.
    • එබඳු රජයේ ඉඩමක අනවසර පදිංචිකරුවන් සිටිත් නම් නෙරපීමේ නියෝගයක් මගින් ඔවුන් ඉඩමෙන් නෙරපා හැරිය යුතු ය.

වන්දි ගෙවිය යුතු වන ඇතැම් රජයේ ඉඩම් සම්බන්ධයෙන් ඉහත සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය ම අනුගමනය කළ යුතු ය.

මේ සඳහා අදාළ වන රජයේ ආයතන පහත දැක්වේ.

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • පළාත් සභාව
  • ප්‍රාදේශීය සභාව (පළාත් පාලන ආයතනය)
  • මහවැලි අධිකාරිය
  • ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • ඉඩම් අමාත්‍යාංශය

පෞරාණික ස්මාරක ප්‍රකාශයට පත් කිරීම

  • 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 16,17,18 සහ 19 වගන්ති ප්‍රකාර, ගැසට් පත්‍රයේ නිවේදනයක් පළ කිරීම මගින් පුරාණ ස්මාරක ප්‍රකාශයට පත් කිරීම විෂය භාර අමාත්‍යවරයාට කළ හැකි ය.
  • 1988 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාර, අවුරුදු 100 ඉක්මවා ගිය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුත් පුරණ ඉදිකිරීම්. පෞරාණික ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
  • 1940 පුරාවස්තු ආඥා පනතේ 16 සහ 17 වගන්ති යටතේ රජයේ ඉඩම්වල පිහිටි පෞරාණික ගොඩනැගිලිවලට හෝ රජයේ ඉඩම්වල පිහිටි පෞරාණික ගස්වලට සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව ලබාදීම සඳහා එකී ගොඩනැගිලි සහ ගස් පෞරාණික ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකි ය.
  • පෞද්ගලික ඉඩම්වල තිබෙන පෞරාණික ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධතා කැඳවීමෙන් පසු ආඥාපනතේ 19 වගන්තිය ප්‍රකාර ආරක්ෂිත ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකි ය.
  • යම් යම් ස්ථාන පුරාවිද්‍යාත්මක ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඒවායේ නවීකරණ කටයුතු, එකතු කිරීම් හෝ සංරක්ෂණ කටයුතු කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව 21 වැනි වගන්තියේ සඳහන් වේ.
  • ප්‍රකාශිත ස්මාරකයක් විනාශ කරන හෝ අලාභහානියට පත් කරන හෝ විකෘති ‍කරන ඕනෑම පුද්ගලයකු වරදකට වැරදිකරු වන අතර මහේස්ත්‍රාත්වරයකු  ඉදිරියේ නඩු විභාගයකින් පසු රු. 50,000/- ට නො අඩු සහ රු. 250,000/- නො වැඩි දඩයකට හෝ අවුරුදු 2 ට නො අඩු සහ අවුරුදු 5ට නො වැඩි සිර දඬුවමකට නැතහොත් ඒ දඬුවම් දෙකට ම යටත් විය යුතු ය. නඩු විභාගය අවසන් වන තෙක් වරදකරුට ඇප නො දිය හැකි බව නීතිය තව දුරටත් සඳහන් කරයි.
  • පුරාවිද්‍යා ස්ථාන සහ ඒවායේ අවම පරිසරය සැලකිල්ලට ගෙන පුරාවස්තුවලට සහ ප්‍රකාශිත ස්මාරකවල පුරාවිද්‍යාත්මක අගයට තර්ජනයක් එල්ලවීම වැළැක්වීමේ පරමාර්ථයෙන් ඉහත සඳහන් ආඥා පනතේ 24 (1) වගන්තිය යටතේ නියෝග සාදා තිබේ. තව ද මීටර් 400ක දුරක් ඇතුළත ගොඩනැගිලි ඉදි කිරීම, ගල් වළවල් ඇති කිරීම, පතල් හෑරීම සහ පිපිරවීම් කිරීම තහනම් කළ හැකි ය.

මෑත වර්ෂවල දී නිදන් වස්තු සොයා පුරාවස්තු විනාශ කිරීමේ සිද්ධි ඉතා විශාල සංඛ්‍යාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා විය. එහෙයින් 2008 ජනවාරි මාසයේ දී ගවේෂණය කිරීමේ සහ ලේඛනගත කිරීමේ ඒකකය යටතේ මෙම අංශය අනාගත පරපුර සඳහා කෞතුක වස්තු සංරක්ෂණය කර තැබීමේ අටියෙන් පිහිටුවන ලදී.

හුදෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් කෞතුක වස්තු සංරක්ෂණය කිරීම කළ නො හැකි ය. මේ සඳහා මහජන සහයෝගය අවශ්‍ය වන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ඉතා සුවිශේෂ වශයෙන් අවශ්‍ය වේ. පුරා වස්තු සංරක්ෂණය කිරීමේ කාර්යය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා කෞතුකවස්තු විනාශ කිරීමට එරෙහිව ක්‍රියා කරන මෙම අංශය සමඟ සමීප සම්බන්ධතාවකින් ක්‍රියා කරනු පිණිස 2008.03.04 වැනි දින පොලිස් ඒකකයක් පිහිටුවන ලදී.

කාර්යභාරය

  1. නීතියෙන් පමණක් පුරාවස්තු විනාශ කිරීම වැළැක්විය නො හැකි බැවින් නිදන් වස්තු පිළිබඳ මිථ්‍යා විශ්වාස දුරු කිරීමට උදවු වනු පිණිස ජනතාව දැනුවත් කිරීම.
  2. පුරාවස්තු විනාශ කරන හෝ සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායම් හඳුනා ගෙන ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම.
  3. කෞතුක වස්තු විනාශ කිරීම පිළිබඳව මහජනයාගෙන් ලැබෙන තොරතුරු සහ පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම.
  4. කෞතුක වස්තු විනාශ කිරීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කාර්යාල සහ පොලිස් ස්ථාන අතර සම්බන්ධීකරණ‍යක් පවත්වා ගැනීම.
  5. කෞතුක වස්තු විනාශ කිරිම් සහ සොරකම් කිරීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරනු ලැබ ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට සහ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වන වාර්තා පිළියෙළ කිරීම.

මෙම පොලිස් ඒකකය 24 පැය පුරා ම මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සහ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි පිහිටුවා පොලිස් මූලස්ථානයෙහි අපරාධ අංශය යටතේ පවත්වා ගෙන යනු ලැබේ.

2008.03.04 සිට 2008.12.31 දක්වා කාලය තුළ කෞතුක වස්තු විනාශ කිරීමේ සහ සොරකම් කිරීමේ සිද්ධි 208 ක් මෙම පොලිස් ඒකකයට වාර්තා වී තිබේ. එසේම 2009.01.01 සිට 2009.06.15 දක්වා කාලය තුළ එබඳු සිද්ධි 110 ක් වාර්තා විය.

අධිකරණයේ ආඥා පිට හෝ මහජනතාව ලබා දෙන තොරතුරු මත හෝ ප්‍රධාන කාර්යාලයෙන් ලබා දෙන තොරතුරු මත අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය එම ස්ථාන පරීක්ෂා කොට, ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මගින් අදාළ වාර්තා, ගවේෂණ සහ ලේඛනගත කිරීමේ අංශය වෙත එවූ විට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ හෝ ගවේෂණ සහ ලේඛනගත කිරීමේ අංශය භාර අධ්‍යක්ෂ වෙත එවනු ලැබේ. ඉන්පසු එම විශේෂ ඒකකය අදාළ වාර්තා සම්පාදනය කොට කෞතුක වස්තු විනාශ කිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් ගවේෂණ/ ප්‍රලේඛන අංශය භාර සහකාර අධ්‍යක්ෂගේ අත්සන සහිතව පොලිසිය හෝ අධිකරණය වෙත නිකුත් කරනු ලැබේ.

කෞතුක වස්තුවක් විනාශ කිරීමක් හෝ සොරකම් කිරීමක් නැතහොත් එසේ කිරීමට තැත් කිරීමක් ඔබ දුටුවහොත් ඔබට ඒ බව පහත සඳහන් ලිපිනයට දැනුම් දිය හැකි ය. කෞතුක වස්තු විනාශ කිරීම වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය දවසේ 24 පැයේම ක්‍රියාත්මක වේ.

පුරා වස්තු විනාශ කිරීම වැළැක්වීමේ විශේෂ ඒකකය
ගවේෂණ සහ ලේඛනගතකිරීම් අංශය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.

ප්‍රමාණයෙන් හෙක්ටෙයාර් 0.25 ට වැඩි ඉඩමක කිසියම් යෝජිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති විට පුරාවිද්‍යාත්මක බලපෑම් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීම නීතිමය අවශ්‍යතාවකි.

පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ දී, සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ඉඩමෙහි කෞතුක වස්තු කිසිවක් තිබේදැයි පරීක්ෂා කරන අතර එවැනි කලාවස්තු එහි තිබේ නම් ව්‍යාපෘතිය නිසා ඒවා කෙරෙහි ඇති වන බලපෑම දක්වමින් කළ යුතු විකල්ප අධ්‍යයන සහ වාර්තා ගැන කරුණු ඉදිරිපත් කළ යුතු ය.

පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණය පිළිබඳ ශ්‍රි ලංකාවේ නීතිය පහත සඳහන් පරිදි වේ.

47 වගන්තිය යටතේ සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් අංක 1152/14 සහ 2004.04.04 දින දරන ගැසට් නිවේදනයෙහි සඳහන් නියෝග සමඟ කියවිය යුතු 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ 43(ආ) වගන්තිය එම නීති ගෙන හැර දක්වයි. මෙම නියෝග, 2000 අංක 01 ව්‍යාපෘති නියෝග යනුවෙන් හැඳින්වේ.

මේ අනුව පහත සඳහන් හැම වර්ගයේ ම ව්‍යාපෘති කටයුතු කිරීමට කලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය ලබා ගත යුතු ය.

01. (a)
ප්‍රවාහන පද්ධති සංවර්ධනය කිරීම.
1. ජාතික හෝ පළාත්බද මාර්ග ඉදිකිරීම.
2. දුම්රිය මාර්ග තැනීම.
3. ගුවන් තොටුපළවල් සහ ධාවන පථ ඉදිකිරීම හෝ ඒවා ව්‍යාප්ත කිරීම.
(b) වාරිමාර්ග ව්‍යාපෘති සංවර්ධනය කිරීම.
1. වැව් තැනීම හෝ අලුත්වැඩියා කිරීම.
2. ජල මාර්ග හෝ ඇල දොළ තැනීම හෝ අලුත් වැඩියා කිරීම.
(c) විදුලිය ජනනය කිරීම සහ සම්ප්‍රේෂණය කිරීම.
(d) කාෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම.
(e)
පදිංචි කරවීමේ ව්‍යාපෘති.
(f)
කාර්මික යන්ත්‍රෝපකරණ සවි කිරීම හෝ කර්මාන්ත සහ උද්‍යාන සංවර්ධනය.
(g) ප්‍රති නිර්මාණ කර්මාන්ත සංවර්ධනය.
(h) ගොඩ ඉඩම් හෝ මඩ ඉඩම් පිරවීම.
(i) ගොඩ ඉඩම් හෝ මඩ ඉඩම්වල ජලය පිරවීම.
(j) ප්‍රමාණයෙන් හෙක්ටෙයාර් දෙකට වැඩි ඉඩම් හෙළි කිරීම.
02. (a) නිවාස සංකීර්ණ ඉදිකිරීම.
(b) ජාතික රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරියේ තීරණ ප්‍රකාර හෝටල සහ වෙනත් සියලු ම වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම.
(c) නිවාස කර්මාන්ත සහ වාණිජ යටිතල පහසුකම් ඇතුළු ඒකාබද්ධ බහුවිධ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
(d) ප්‍රමාණයෙන් හෙක්ටෙයාර් දෙකට වැඩි සියලු ඉඩම් හෙළි කිරීම.
03. වර්ග මීටර් විසි පහකට වැඩි ස්වාභාවික ඉඩමක් සහිත ස්වාභාවික ගුහා, ලෙන් සහ ගුහාවල ඇතුළු පැත්ත හෙළි කිරීම සහ ඉදි කිරීම.
04. ජලාපවහනය, ජලය, ගෑස්. විදුලිය සහ දූරකථන සඳහා කොන්ඩියුට් බට එළීම සඳහා මීටර් 500 ඉක්මවා කැණීම් කිරීම.
05. ගල්, බොරලු, ඛනිජ හෝ පස් ලබා ගැනීම සඳහා ගල් වළවල් සෑදීම සහ ගල් පුපුරවා හැරීම.
(a) රට අභ්‍යන්තරයෙහි ඉඩමේ කබොල්ලේ හෙක්ටෙයාර් 0.25 ට වැඩියෙන් ඇති තැන්පතු හඳුනා ගෙන ඒවා ලබා ගැනීමට පතල් හැරීම.
(b) දියඹේ සියලු ම ආකාරයේ ගොඩ දැමීමේ ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමේ කටයුතු කිරීම.
06. වරායවල් හෝ තොටුපළවල් ඉදි කිරීම හෝ ව්‍යාප්ත කිරීම සඳහා ඉඩම් හෙළි කිරීම සහ මුහුදු පතුල අලාභ හානියට පත් කිරීම.

  1. අයෝජකයා විසින් යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ලිඛිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වට දැනුම් දිය යුතු ය.
  2. එසේ දැනුම් දුන් විට පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණය සඳහා ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රයක් ආයෝජකයා (ව්‍යාපෘති යෝජනා) වෙත යවනු ලැබේ.
  3. ආයෝජකයා විධි වූ පරිදි පුරවන ලද ආකෘති පත්‍රය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ විට එහි පිටපතක් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට යවා අදාළ ස්ථානය පිළිබඳ මූලික වාර්තාවක් ගෙන්වා ගනු ලැබේ.
  4. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂගේ නිර්දේශ සහිත නිරීක්ෂණ වාර්තාවට අනුව අදාළ ඉඩමේ කෞතුක වස්තු කිසිවක් නැත්නම් අදාළ ව්‍යාපෘතිය සඳහා එම ඉඩම නිදහස් කළ හැකි ය. පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණයක් කළ යුතු බව මූලික වාර්තාවෙන් යෝජනා කරන්නේ නම්, එසේ කිරීමට පියවර ගත යුතු ය.
  5. යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණයක් කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින නියෝජිතයන් 17 දෙනාගෙන් ලංසු කැඳවනු ලැබේ.
  6. මුදල් මණ්ඩලය රැස්වී එම ලංසු විවෘත කරනු ලැබේ. මුදල් මණ්ඩලය පහත සඳහන් අයගෙන් සමන්විත වනු ඇත.
    • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
    • පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ
    • මධ්‍යම සංස්කෘතික අරමුදල් අධ්‍යක්ෂ
    • පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සභාපති
  7. පුරාවිද්‍යාත්මක බලපෑම් තකසේරු කිරීමේ සමීක්ෂණ පැවැත්වීමට සුදුසු නියෝජිතයන් තෝරා ගනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  8. මුදල් මණ්ඩලය විසින් තෝරා ගනු ලබන නියෝජිතයාට ගෙවිය යුතු ගාස්තුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නමින් තැන්පත් කරන ලෙස ආයෝජකයාට දන්වනු ලැබේ.
  9. අදාළ ලංසුව තෝරා ගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජිතයාට දන්වයි.
  10. ආයෝජකයා අදාළ මුදල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නමින් තැන්පත් කළ පසු ඒ බව ආයෝජකයාට දැනුම් දෙනු ලැබේ.
  11. අදාළ නියෝජිතයාට දන්වා සති 06 ක් ඉක්ම යන්නට කලින් පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණ වාර්තාව දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. එසේ නොඑවුවහොත් එම නියෝජිතයාට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කිරීමට දෙපාර්තමේන්තුවට හැකි ය.
  12. අදාළ නියෝජිතයා පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණය අවසන් කොට එහි වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පසු, අදාළ මුදල එම නියෝජිතයා වෙත මුදා හරිනු ලැබේ.
  13. ඊළඟ පියවර වනුයේ එම පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත යැවීම ය. අමාත්‍යවරයාගේ නිර්දේශය මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අදාළ ව්‍යාපෘතිය පිළිබද තීරණය නිකුත් කරයි.

ඉහත සඳහන් වනුයේ පුරා විද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික ක්‍රියා පරිපාටිය යි. මෙහි දී  පහත සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ.

  1. පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණයට අනුව ඉඩම මුදා හැරිය නො හැකි වුවත් සමීක්ෂණයේ වියදම ආයෝජකයා විසින් දැරිය යුතුවේ.
  2. තවද පුරාවිද්‍යාත්මක බලපෑම් කස්සේරු කිරීමේ සමීක්ෂණය කරන නියෝජිතයා, මතුපිට නිරීක්ෂණයකින් සෑහීමට පත් නොවී කැණීම් සිදු කළ යුතු බව යෝජනා කළහොත් ඒ සඳහා වැයවන වියදම ද ආයෝජකයා විසින් දැරිය යුතු ය. කැණීමෙන් පසු ඉඩම සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණහොත් එහි වියදම ද ආයෝජකයා දැරිය යුතුය. යම්කිසි මුදලක් ඉතිරි වුවහොත් එය ආයෝජකයාට ආපසු ගෙවීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බැඳී සිටී.
  3. කැණීම් සහ සංරක්ෂණ වාර්තා, අනුමැතිය සඳහා අමාත්‍යාංශය වෙත යැවීම දෙපාර්තමේන්තුවේ වගකීම ය.

සමුද්‍රීය පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම, ස්ථාන පිළිබඳ ගවේෂණ, තොරතුරු වාර්තාගත කර ගැනීම, ඒවා සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම සහ රටේ වෙරළබඩ තීරයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කිරීම හා සම්බන්ධ වේ.

මෙම ගවේෂණවල දී මිනිසා විසින් ඉතිරි කර ඇති සියලු ම ආකාරයේ භෞතික සාධක ද ඇතුළුව ගිලී ඇති නැව්, ජලයෙන් යට වී ඇති වරායවල් සහ ජනාවාස යන මේවා සැලකිල්ලට ලක් වේ. ගොඩබිම පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් සොයා ගෙන ඇති කෞතුක වස්තු, ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ම ශ්‍රී ලාංකිකයන් පිටරටවල් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට සාක්ෂි දරයි. ශ්‍රී ලංකාව ඉඳුරා ම අවුරුදු 10,000කට පෙර සිට ම දිවයිනක් වශයෙන් පවතින අතර වෙනත් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුහුදු යාත්‍රා භාවිත කර ඇත. රට වටා ස්වාභාවික වරායවල් ගණනාවක් ශ්‍රී ලංකාව සතුව පවතී.

මුහුදු මට්ටමේ වෙනස්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන් වතුරෙන් යට වී ඇති පැරණි වරායවල් සහ ජනාවාස ඇති නිසාත්, ගිලී ඇති නැව් නිසාත් මුහුදු යට කෞතුක වස්තු නිර්මාණය වී තිබේ.

ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර පෙදෙස හා සම්බන්ධ මුහුදු මාර්ගයක මැද මේ දිවයින පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ වාසය කළ පුරාණ මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන අධ්‍යයනය කිරීමට අවස්ථා රාශියක් උදාකර දෙන කෞතුක වස්තු රාශියක් තිබේ.

මුහුදු පතුලේ තැන්පත්ව තිබෙන කෞතුක වස්තු ආශ්‍රයෙන් පුරාණ මානව ක්‍රියාකාරකම් හැදෑරීම කෙරෙහි පුරාවිද්‍යාව සැලකිලිමත් වෙයි.

ශ්‍රී ලංකාව සතු මුහුදු ජලයේ තැන්පත්ව තිබෙන කෞතුක වස්තුවල අයිතිය, 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතෙන් සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥපනතේ 2 වගන්තියේ 3 උප වගන්තියෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරී ඇත.

  • ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීම.
  • මැග්නට් මීටර්, සයිඩ් ස්කෑනර් සහ දියුණු උපකරණ භාවිත කොට පුරාණ වරායවල් අවට ගවේෂණ කටයුතු කිරීම.
  • කිමිදීමේ පුහුණුව ලත් පුරාවිද්‍යා නිලධාරීන් මගින් මුහුදේ කිමිදී මුහුදු පතුල ගවේෂණය කිරීම.
  • දේශාංශ සහ අක්ෂාංශ පිළිබඳ සිතියම්, ඡායාරූප, වීඩියෝ යනාදිය මගින් ලබා ගන්නා තොරතුරු අනුව ස්ථාන විස්තර වශයෙන් ලකුණු කර ගැනීම.
  • කෞතුක වස්තු පිළිබඳ ලේඛන පවත්වා ගැනීම.

මේ සම්බන්ධයෙන් බලපාන නීතිය නම් 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතින් සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතේ 15 වැනි වගන්තිය යි.

ගොඩබිම ඇති කෞතුක වස්තු විනාශ වීමෙන් වළක්වා ගැනීම වැදගත් වන තරමට ම දේශීය ජලය තුළ තිබෙන කෞතුක වස්තු විනාශවීමෙන් වළක්වා ගැනීම ද වැදගත් වේ.

සමුද්‍රීය කෞතුක වස්තු විනාශ කිරීමේ බහුලව පවතින ක්‍රම අතර අවුරුදු 100 කට පමණ පෙර මුහුදේ ගිලා බැස ඇති දිරාපත්වන නැව්, ඩයිනමයිට් භාවිත කොට හෝ වෙනත් ක්‍රම වලින් විනාශ කිරීම සහ ඒවායේ කොටස් හෝ ඒවා තුළ ඇති  කෞතුක වස්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමතිය කලින් ලබා නොගෙන ගොඩබිමට ගෙන ඒම සඳහන් කළ හැකි ය.

රටේ වෙරළබඩ තීරුවෙහි නැව් තොටුපළවල් හෝ වරායවල් ඉදිකිරීම හෝ ව්‍යාප්ත කිරීම සඳහා ඉඩම හෙළි/පෙහෙළි කරන්නට හෝ මුහුදු පතුලට අලාභහානි කරන්නට පෙර, එබඳු දේ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයකු විසින් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණ වාර්තාව ලබා ගත යුතු ය.

මිට අදාළ වන නීතිය සහ ක්‍රියා පරිපාටිය පිළිබඳ වැඩි විස්තර “පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරු කිරීමේ සමීක්ෂණය” යටතේ විස්තර කර ඇත.

මෙම ඒකකය, පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක පිහිටා ඇති භූගෝලික ස්ථාන පිළිබඳ තොරතුරු GIS යන්ත්‍ර මඟින් ලබාගෙන ඒ තොරතුරු පරිගණක දත්ත පාදකයක තබා ගනී.

පුරාණ ලංකාවේ වාරි මාර්ගික විශිෂ්ටත්වය ලෝකයේ කවර පෞරාණික ශිෂ්ටාචාරයක් සමඟ වුව ද සම කළ නො හැකි ය. උස් කඳු බිම් දෙකක් යා කොට ජලය ඒකරාශී කිරීම, මධ්‍යගත පිහිටීම් අනුව වැව් තැනීම සහ අමුණු සෑදීම පිළිබඳ පුරාණ ශ්‍රි ලාංකිකයන්ගේ ඥාන සම්භාරය අසමසම වේ. දැනට දැවැන්ත ජලාශ 34,000ට අධික සංඛ්‍යාවක් ද ග්‍රාමීය වැව් විශාල සංඛ්‍යාවක් ද ඒවාට සම්බන්ධ ඇල වේලි විශාල සංඛ්‍යාවක් ද තිබේ. මේ උරුමය හඳුනාගෙන සංරක්ෂණය කොට අනාගත පරම්පරාවන්ට පවරා දී තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 06:39