පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 දී සිය කටයුතු ආරම්භ කළ නමුත් පුරාවිද්‍යාත්මක කටයුතු පිළිබඳ මූලික වැඩ ආරම්භ කරන ලද්දේ ඊට අවුරුදු බොහෝ ගණනකට ඉහත දීය. ඒ හර්කියුලස් රොබින්සන් ශ්‍රීමතාණන්ගේ පාලන සමයේ දී ය. ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ ආරම්භ කොට අවුරුදු හතකට පසු 1868 දී (දැනට ශ්‍රී ලංකාව වන) ලංකාවේ ආණ්ඩුව, ලංකාවේ පුරාණ ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කමිටුවක් පත් කළේය. ඒ අනුව 1871 දී දිවයිනේ ආණ්ඩුවෙන් මූල්‍ය සහ වෙනත් ආධාර ලබා ගෙන අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ ප්‍රමුඛ ගොඩනැගිලිවල මහාර්ඝ ඡායාරූප මාලාවක් ලබා ගන්නා ලදී.

වර්ෂ 1873 දී ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සම්පූර්ණ සමීක්ෂණයක් කරන්නැයි උපදෙස් නිකුත් කළේය. එම අවුරුද්දේ ම පුරාණ අනුරාධපුරය පිළිබඳ ස්ථානීය සමීක්ෂණයක් ආරම්භ කරන ලදී. ජේ.ජී.ස්මිදර් විසින් කරන ලද පු‍රෝගාමී කටයුතු අළලා දාගැබ් සහ වෙනත් නටබුන් වූ ගොඩනැගිලි ද අඩංගු “අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ” නමින් වු කෘතිය 1894 දී එළිදැක්විණි.

1875-1879 අතර කාලය තුළ රජයේ බලය පිට පුරාණ ශිලා ලිපි සහ මුල් ලේඛන අර්ධ වශයෙන් සොයාබලා එක් රැස් කිරීමක්, සිංහල ශිලාලේඛන විද්‍යාවේ ආරම්භකයා වූ මහාචාර්ය පී.ගෝල්ඩ්ස්මිත් සිදු කළේය. ඉන්පසු ඊ. මුලර් සහ මහමුදලි එල්.ඩබ්.ද සොයිසා යන මහත්වරු මේ කාර්යය අඛණ්ඩව ක්‍රියාත්මක කළහ.

1884-1886 කාලය තුළ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්මාරක සහ වෙනත් පුරාවස්තුවලට අදාළ අධීක්ෂණ වගකීම (ලංකා සිවිල් සේවයේ) බරෝස් මහතාට පැවරිණි. මේ සඳහා ඝන වනාන්තර හෙළි කරන්නට සිදු විය. පුරාණ මාර්ග යථා තත්ත්වයට පත් කෙරිණි. නව මාර්ග තැනිණි. තව තවත් කැණීම් කිරීමට සැලසුම් සම්පාදනය විය. පුරාවිද්‍යාත්මක භූමිභාග සහ වස්තු පිළිබඳ සැපයුණු තොරතුරුවලින් තව තවත් කැණීම් කිරීමට දිරිගැන්වීමක් ලැබිණි. එවකට හැඳින්වුණු පරිදි “කෞතුක වස්තු” ද කාලයාගේ විෂම තත්වයන්ගෙන් සහ සාහසිකයන්ගේ ක්‍රෑර හස්තයෙන් බේරී තිබුණු මූර්ති ශිල්පීය භාණ්ඩ සහ චිත්‍ර ද, සුරක්ෂිතව තැන්පත් කර තැබීමට ප්‍රාදේශීය කෞතුකාගාරයක් ද ආරම්භ කරන ලදී.

ඉන් අනතුරු කාලයේ දී මූලික විමර්ශන කටයුතු රාශියක් සිදු විය. 1890 ජූලි මස 07 වැනි දින එවකට ලංකාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ආතර් ගෝර්ඩ්න් උතුරු මැද පළාතේ පුරා විද්‍යාත්මක මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස (ලංකා සිවිල් සේවයේ) එච්.සී.පී.බෙල් මහතාට විධාන කළේය. ශ්‍රී ලංකාවේ විදුහුරු පුරාවිද්‍යාවේ නිල උපන් දිනය වූයේ මේ අවස්ථාව යි.

පුරාවිද්‍යා ක්ෂේත්‍රය කොටස්වලට බෙදීමෙන් එච්.සී.පී. බෙල් මහතා සිය කටයුතු ආරම්භ කළේය. එසේ වුව ද ඔහුගේ ප්‍රධාන කාර්ය සම්බන්ධ වූයේ ගවේෂණය සමඟ ය. සුවිශේෂ වටිනාකමින් යුත් පෞරාණික වස්තු එළි දැක්වීම පුරා විද්‍යාත්මක කැණීම්වලින් ආරම්භ විය. ශිලාලිපි කෙරෙහිත් ඒවා අධ්‍යයනය කිරීම කෙරෙහිත් අවධානය අඛණ්ඩව යොමු වන්නට විය. සීගිරියේ සහ පොළොන්නරුවේ ආරම්භ කළ ගවේෂණවලින් සුවිශේෂ වැදගත්කමකින් යුත් ප්‍රතිඵල ලැබිණි. 1897 දී සීගිරියේ සහ පොළොන්නරුවේ බිතු සිතුවම් සොයා ගැනීම සාතිශය වැදගත්කමකින් යුක්ත බව ඔප්පු විය. පුරාවිද්‍යා කටයුතුවලට අදාළ සමස්ත ක්ෂේත්‍රය ම සලකා බැලීමට කොමිෂන් සභාවක් 1898 දී පත්කරන ලදී.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු, කාල පරිච්ඡේද දෙකකින් එළි දැක්වේ. එහි මුල් කාලය යටත් විජිත සමය යි. අනෙක් කාලය නිදහස් කාලය යි. යටත් විජිත සමය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් පාලනය වූ අතර නිදහස් සමය කළමනාකරණය කිරීමත් පාලනයත් කළේ ශ්‍රී ලාංකිකයන්ය. දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික ප්‍රධානීයා වශයෙන් පත් කරනු ලැබුවේ ආචාර්ය එස්. පරණවිතාන මහතා යි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීයා ඇතුළුව මුල් ප්‍රධානීන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

වර්ෂය නිලධාරියාගේ නම
1884-1886 එස්. එම්. බරෝස් මහතා
1890-1892 එච්.සී.පී. බෙල් මහතා
1892 ලීවර්ස් මහතා (වැඩබලන)
1893-1912 එච්.සී.පී. බෙල් මහතා
1912-1913 ආර්. අයර්ටන් මහතා
1913-1914 බී. කොන්ස්ටන්ටයින් මහතා (වැඩ බලන)
1914-1918 එච්.ආර්. ෆ්‍රීරීමන් මහතා (වැඩ බලන)
1918-1920 එෆ්. ජී. ටිරල් මහතා (වැඩ බලන)
1920-1921 ඒ. ඩබ්ලිව්.සීමර් මහතා (වැඩ බලන)
1921-1922 ජී.එෆ්.ආර්. බ්‍රවුනිං මහතා (වැඩ බලන)
1922-1923 ඒ.එම්. හොකාර්ට් මහතා
1923-1924 ඒ.එම්. හොකාර්ට් මහතා එෆ්. බාර්ට්ලට් මහතා (වැඩබලන)
1924-1925 එම්. වෙඩර්බර්න් මහතා (වැඩ බලන) ඊ.ආර්. ෂඩ්බරි මහතා (වැඩ බලන)
1925-1927 ඒ.එම්. හොකාර්ට් මහතා
1927-1928 ඊ.ටී. ඩයිසන් මහතා (වැඩ බලන)
1928-1929 සී.එෆ්.වින්සර් මහතා (වැඩ බලන)
1929-1930
ජේ. පියර්සන් මහතා (වැඩ බලන)
1930-1931
සී.එෆ්. වින්සර් මහතා (වැඩ බලන)
1931-1934
එස්. පරණවිතාන මහතා ( වැඩ බලන)
1934-1939 ඒ.එච්. ලෝංග්හර්ස්ට් මහතා
1940-1956 ආචාර්ය එස්. පරණවිතාන මහතා
1956-1967 ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර මහතා
1967-1979 ආචාර්ය ආර්.එච්. ද සිල්වා මහතා
1979-1983 ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා
1983-1990 ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා
1990-1992 එම්.එච්. සිරිසෝම මහතා
1992-2001 ආචාර්ය එස්.යූ. දැරණියගල මහතා
2001-2004
ආචාර්ය ඩබ්.එච්. විජයපාල මහතා
2004 සිට මේ දක්වා ආචාර්ය සෙනරත් දිසානායක මහතා

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැන් අවුරුදු ගණනාවකට පෙර සමයේ දී ම වඩා විශාලතර වගකීම් සම්භාරයකට මුහුණ පා සිටී. එසේම වර්තමාන පුරාවිද්‍යාව දියුණු තාක්ෂණික ක්‍රම මත පදනම් වූ මනාව සංවර්ධිත විද්‍යාත්මක විෂයක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා තිතක් වැනි දිවයිනක් වුව ද එය දෙලක්ෂ පණස් දහසකට අධික පුරාවිද්‍යාත්මක භූමිභාගවලින් යුක්ත වූ ද අපරිමිත පුරාවස්තු ප්‍රමාණයකට උරුමකම් කියන්නා වූද අභිමානවත් දේශයකි. 1940 අංක 9 දරන පුරා වස්තු ආඥාපනතට අනුව සහ 1998 අංක 4 දරන එහි සංශෝධනයට අනුව, මේ උරුමය ආරක්ෂා කර ගැනීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඒකාන්ත වගකීම වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2013 දෙසැම්බර් 06 වෙනි සිකුරාදා, 08:40